Tuesday, June 27, 2023

විඥානය (Consciousness) යනු කුමක්ද?

 “විඤ්ඤාණං විඤ්ඤාණන්ති ආවුසෝ වුච්චති. කිත්තාවතා නු ඛෝ ආවුසෝ විඤ්ඤාණන්ති වුච්චතී”ති?

“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ‘දැනගන්නවා, දැනගන්නවා’ කියන අර්ථයෙනුයි විඤ්ඤාණය කියන්නෙ. දැනගන්නෙ මොනවාද? සැපයත් දැනගන්නවා. දුකත් දැනගන්නවා. දුක් සැප රහිත බවත් දැනගන්නවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ‘දැනගන්නවා, දැනගන්නවා’ කියන අර්ථයෙනුයි විඤ්ඤාණය කියන්නෙ.”  (මහාවේදල්ල සුත්තං, මූල පණ්ණාසකෝ, මජ්ඣිම නිකාය)

සංස්කාර නිසා සකස්වන්නාවූ ඵලය ලෙසද  විඥානය හැඳින්වේ ( සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං).

රූපූපයං භික්ඛවේ, විඤ්‌ඤාණං තිට්‌ඨමානං තිට්‌ඨෙය්‍ය, රූපාරම්‌මණං රූපප්‌පතිට්‌ඨං නන්දූපසේචනං වුද්‌ධිං විරූළ්‌හිං වේපුල්ලං ආපජ්‌ජෙය්‍ය. වේදනූපයං වා භික්ඛවේ, විඤ්‌ඤාණං ....(පෙ).... සඤ්‌ඤූපයං වා භික්ඛවේ, ....(පෙ).... සංඛාරූපයං වා භික්ඛවේ, විඤ්‌ඤාණං තිට්‌ඨමානං තිට්‌ඨෙය්‍ය, සංඛාරාරම්‌මණං සංඛාරප්‌පතිට්‌ඨං නන්දූපසේචනං වුද්‌ධිං විරූළ්‌හිං වේපුල්ලං ආපජ්‌ජෙය්‍ය. (බීජ සුත්තං, ඛන්ධක වග්ගෝ, සංයුත්ත නිකාය)

පින්වත් මහණෙනි, මේ විඤ්ඤාණය තිබුණොත් තිබෙන්නේ රූපයෙහි බැසගෙනයි. රූපය අරමුණු කොටගෙනයි. රූපයෙහි පිහිටාගෙනයි. නන්දිරාගයෙන් තෙත් කරමිනුයි. එතකොට විඤ්ඤාණය වර්ධනය වෙනවා. දළුලා වැඩෙනවා. විපුල බවට පත්වෙනවා. පින්වත් මහණෙනි, මේ විඤ්ඤාණය තිබුණොත් තිබෙන්නේ වේදනාවෙහි බැසගෙනයි. වේදනාව අරමුණු කොටගෙනයි. වේදනාවෙහි පිහිටාගෙනයි. නන්දිරාගයෙන් තෙත් කරමිනුයි. එතකොට විඤ්ඤාණය වර්ධනය වෙනවා. දළුලා වැඩෙනවා. විපුල බවට පත්වෙනවාපින්වත් මහණෙනි, මේ විඤ්ඤාණය තිබුණොත් තිබෙන්නේ සඤ්ඤාවෙහි බැසගෙනයි සඤ්ඤාව අරමුණු කොටගෙනයි. සඤ්ඤාවෙහි පිහිටාගෙනයි. නන්දිරාගයෙන් තෙත් කරමිනුයි. එතකොට විඤ්ඤාණය වර්ධනය වෙනවා. දළුලා වැඩෙනවා. විපුල බවට පත්වෙනවා. පින්වත් මහණෙනි, මේ විඤ්ඤාණය තිබුණොත් තිබෙන්නේ සංස්කාරවල බැසගෙනයි. සංස්කාර අරමුණු කොට ගෙනයි. සංස්කාරවල පිහිටා ගෙනයි. නන්දිරාගයෙන් තෙත් කරමිනුයි. එතකොට විඤ්ඤාණය වර්ධනය වෙනවා. දළුලා වැඩෙනවා. විපුල බවට පත්වෙනවා.

පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ විදිහට කියන්න පුළුවනි. ‘මම රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සඤ්ඤාවෙන් තොරව සංස්කාරවලින් තොරව විඤ්ඤාණයේ පැමිණීමක් හරි, යෑමක් හරි, චුත වීමක් හරි, ඉපදීමක් හරි, වර්ධනයක් හරි, දළුලා වැඩීමක් හරි, විපුල බවට පත්වීමක් හරි පණවන්නෙමි’යි කියලා. නමුත් ඒක සිදුවෙන දෙයක් නම් නොවෙයි.

පින්වත් මහණෙනි, ඉදින් භික්ෂුවට රූපධාතුව කෙරෙහි තිබෙන රාගය ප්‍රහීණ වෙනවා නම්, රාගය ප්‍රහීණ වීම නිසයි පැවැත්ම පිණිස තිබුණ අරමුණ සිඳිලා යන්නේ. එතකොට විඤ්ඤාණයට පිහිටා සිටින්නට තැනක් නැතිව යනවා. පින්වත් මහණෙනි, ඉදින් භික්ෂුවට වේදනා ධාතුව කෙරෙහි තිබෙන රාගය ප්‍රහීණ වෙනවා නම් රාගය ප්‍රහීණ වීම නිසයි පැවැත්ම පිණිස තිබුණ අරමුණ සිඳිලා යන්නේ. එතකොට විඤ්ඤාණයට පිහිටා සිටින්නට තැනක් නැතිව යනවා. පින්වත් මහණෙනි, ඉදින් භික්ෂුවට සඤ්ඤා ධාතුව කෙරෙහි තිබෙන රාගය ප්‍රහීණ වෙනවා නම් රාගය ප්‍රහීණ වීම නිසයි පැවැත්ම පිණිස තිබුණ අරමුණ සිඳිලා යන්නේ. එතකොට විඤ්ඤාණයට පිහිටා සිටින්නට තැනක් නැතිව යනවා. පින්වත් මහණෙනි, ඉදින් භික්ෂුවට සංස්කාර ධාතුව කෙරෙහි තිබෙන රාගය ප්‍රහීණ වෙනවා නම්, රාගය ප්‍රහීණ වීම නිසයි පැවැත්ම පිණිස තිබුණ අරමුණ සිඳිල යන්නේ. එතකොට විඤ්ඤාණයට පිහිටා සිටින්නට තැනක් නැතිව යනවා.පින්වත් මහණෙනි, ඉදින් භික්ෂුව විඤ්ඤාණ ධාතුව කෙරෙහි තිබෙන රාගය ප්‍රහීණ වෙනවා නම්, රාගය ප්‍රහීණ වීම නිසයි පැවැත්ම පිණිස තිබුණ අරමුණ සිඳිලා යන්නේ. එතකොට විඤ්ඤාණයට පිහිටා සිටින්නට තැනක් නැතිව යනවා. පිහිටා සිටින්නට තැනක් නැති විඤ්ඤාණය දළුලා වැඩෙන්නෙ නෑ. විශේෂයෙන් සකස් වෙන්නෙ නෑ. නිදහස් වෙනවා. නිදහස් වීම නිසා විරාගය තුළ පිහිටනවා. විරාගය තුළ පිහිටා තිබීම නිසා සතුටක් ඇතිවෙනවා. සතුට නිසා කම්පාවක් නෑ. අකම්පිතව සිටිමින් තමා තුළම පිරිනිවී යනවා. ‘ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන සඳහා කළ යුතු දේ කළා. නැවත වෙන කිසි භවයක උපතක් නැතැ’යි අවබෝධ කරගන්නෙවා.



Thursday, June 14, 2018


අනුපුබ්බේන මේධාවි -  ථොකථොකං ඛණේ ඛණේ


අනුපුබ්බේන මේධාවි 
ථොකථොකං ඛණේ ඛණේ
කම්මාරො රජතස්සේව
නිද්ධමේ මල මත්තනෝ
(ධම්මපදය – මල වග්ගය)

රන් කරුවා රිදී අභරණයෙහි  මළ(කිලිටි) ටිකින් ටික ඉවත් කරන්නා සේ ප්‍රඥාවන්තයා (වුවණැති තැනැත්තා) ටිකෙන් ටික ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා අනුපිළිවෙලින් තමාගේ කෙලෙස් නැමැති මළ ඉවත් කර ගනී.

අනාදිමත් සංසාරයක සිට කෙලෙස් මළ වලින් කිලිටි වූ චිත්තයන් ක්ෂණයකින් පිරිසිඳු කිරීම අපහසුය. එය පිරිසිඳු කල හැක්කේ මනා සිහිනුවණින් (සති සම්පජඤ්ඤයෙන්) යුතුව නිති පතා (ක්‍ෂණයක්, ක්‍ෂණයක් පාසා)  සිතෙහි ඇතිවන ඇලීම ගැටීම දකිමින් ඒවා අඩුවන ආකාරයට කටයුතු කිරීමෙනි. මෙසේ සිහිනුවණින් යුතුව (සති සම්පජඤ්ඤයෙන්) වාසය කරන තැනැත්තාට මේ ජීවිත කාලය තුළදීම රාගයත් (ඇලීම) ද්වේශයත් (ගැටීම) ප්‍රහීන කොට නික්ලේශී භාවයට පත්විය හැකි බව තථාගතයන් වහන්සේ පැවසු සේක. 


සිතේ ඇතිවන වෙනස් වීම දවසකට හෝ මාසයකට මෙපමණයි කියා දැකිය නොහැකි නමුත් වෑයේ මිට භාවිතයේදී ගෙවී ගේවි යන්නේ කෙසේද එලෙස ක්‍රම ක්‍රමයෙන් කෙලෙස් ප්‍රහානය සිදු වන බව පෙන්වා දී තිබේ. එනිසා කළයුතුව ඇත්තේ ප්‍රතිඵල අපේක්ෂාවකින් තොරව කරගෙන යන ප්‍රතිපදාව නිතිපතා අත නොහැර දිගටම කරගෙන යැමයි.



Monday, January 29, 2018

මේ මොහොත ජීවත්වීම.


අතීතයත්, අනාගතයත් දෙකම ඇත්තේ මේ මොහොතේය. සිදුවීම් පිළිබඳව සිතේ තැම්පත් වී ඇති මතකය නිසාත් එම මතකය මේ මොහොතේ යළි ගොඩගැනීම නිසාත් අතීතයක් ගොඩනැගේ. ගොඩනගාගත් අතීතයේ ජිවත් වෙමින් උදම්වේ, පසුතැවිලි වේ. අනාගතයත් මේ අයුරින්ම සිතේ ඇතිවන්නා වූ සිතුලිල්ලකි. ජීවිතයත්, ජීවත් වීමත් දෙකම ඇත්තේ මේ මොහොත තුල පමණි. මෙය සොබාදහම මැවූ අපුරු නීතියකි. මිනිසා සතුව ඇති අසීමිත ආශාව සහ මමත්වය නිසා අද විනාශ කර හෙට ගොඩනැගීමට සිහින මවයි, මේ මොහොත ජීවත්වීම මගහැර ගනී.

Tuesday, November 21, 2017

සතිය පිහිටුවීම 1


සතිමත්විම හෝ සතිය පිහිටුවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

සතිමත්වීම හෝ සතිය පිහිටුවීම වීම යනු දිනපතා කරනු ලබන සැම කටයුත්තක දීම එය සිහියෙන් යුක්තව කිරීමයි. අහාර අනුභව කිරීම සලකමු:
          
  බත් පිඩක් ඇනිමේ සිට එය කුසය තුලට යාම දක්වා සැම ක්‍රියාවක්ම මනසින් දැකීම සතිය යැයි කිවොත් නිවැරදිය. එනම් බත් පිඩ ඇනීම, ඉන්පසුව එය අතින් ගෙන මුවෙහි තැබීම, සැපීම සහ ගිලීම යන මේ සියලු කාර්යයන් කෙරෙහි සිහිය යොමු කිරීම සතිය නම් වේ.

මෙලෙස දවසක් තුල අප විසින් අප්‍රමාණ වූ කාර්යයන් ගණනාවක් සිදු කරන්නෙමු.  මේ සියල්ල කෙරෙහි සතිමත් වීම පහසු කටයුත්තක් නොවේ. නමුත් ක්‍රමක් ක්‍රමයෙන් කුඩා වැඩවල සිට මෙය පුරුදු කිරීමේදී කාලයත් සමග සිදුකරන්නා වූ කුදු මහත් සැම කටයුත්තක් දෙසම සිහිය තබා ගැනීම පහසු වේ.

නවකයකු මෙම කටයුත්ත ආරම්භ කරන්නේ කෙසේද?

ඇවිදීම හෙවත් සක්මන නවකයකු සඳහා සතිමත් වීමට මහත් රුකුලක් ගෙනදේ. මේ සඳහා අඩි 30 - 40 පමණ දිගකින්  යුත් තැනිතලා බිමක් තෝරා ගත යුතුය. මෙම තෝරාගත් ස්ථානය බාහිර ශබ්ධ අවම ස්ථානයක් වීම වඩාත් සුදුසුය. පළමුව තෝරාගත් ස්ථානයේ එක් අන්තයක සිට විනාඩියක් පමණ ඉදිරිය බලා තමා කිරීමට යන කර්යය ගැන සිතිය යුතුය. ඉන්පසු සාමාන්‍ය වේගයකින් ඉදිරියට ගමක් කල යුතුය. ගමන් කිරීමේදී තමාට අඩි 5ක් 6ක් ක් ඉදිරියෙන් ඇති පොළව දෙස නෙත් යොමා ගෙන සිටීමෙන් බෙල්ල පෙදෙසේ ඇතිවන වේදනා අවම කරගත හැක.  අනිත් අන්තයට ගිය පසුව නැවත පැමිණි දෙසට සෙමෙන් හැරී ගමන් කල යුතුය.

ඉහත අයුරින් විනාඩි 5 ක් පමණ ගමන් කල පසුව සක්මනේ පහසුවක් දැනේ නම් සිත තැම්පත් වන්නේ නම් ගමන් කිරීමේදී දෙපා වල සිදුවන ක්‍රියාව සිතින් දැකිය හැක. එනම් පය එස වෙන අයුරුත් ඉදිරියෙන් තබන අයුරුත් සිතින් දැකිය හැක. මෙලෙස පැය බාගයක් පමණ ආරම්භයේදී සිදුකල හැකිනම් එය සිතෙහි ඇතිවන තැම්පත් බවට පෙර නිමිත්තකි. දිනපතාම මෙලෙස තෝරාගත් වෙලාවක් තුල මෙය අඛණ්ඩව කරගෙන යාම සුදුසුය.
Image: http://www.randellsfootcare.co.uk

Thursday, November 9, 2017

ජීවිතය නම් වූ චරිතය


මවගේ කුසයෙදී කළලය නමින් ද,
ඉපදුන අළුත බිලිඳා නමින් ද,
ඉන්පසු ලැබුන නමින් හෝ
දුව හෝ පුතා නමින් ද,
පාසල් යන කාලයේදී පාසල් සිසුන්/සිසුවියන් නමින් ද,
රැකියාව කරන කාලයේදී ඒ නමින් ද,
ආදරවන්තයා/ ආදරවන්තිය නමින් ද,
ස්වාමිපුරුෂයා/ බිරිඳ නමින් ද,
පියා / මව නමින් ද,
සීයා / ආච්චි හෝ මුත්තා / මිත්තනිය නමින් ද,
ජීවිත චරිතය හදුන්වා දෙනු ලබයි.
මෙහි විශේෂත්වය වන්නේ එක් චරිතයක්  රඟ පැමේදී එය තාත්විකව කිරීමට අනිත් චරිත සියල්ල අමතක කලයුතුය. එනම් බිරිඳගේ චරිතය සර්ව සාධාරණව කිරීමට රැකියාවේ චරිතය අමතක කල යුතුය.


කෙසේ වෙතත් මිණිය හෙවත් මරණය නම් චරිතයෙන් එක් සංසාර චරිතයක් අවසන් වන අතර එය තවත් චරිතයක ඇරඹුමකි.

Tuesday, November 7, 2017

වයධම්මා සංඛාරා

වයධම්මා සංඛාරා
අප්පමාදේන සම්පාදේථ

සියළු සංස්කාරයෝ නැසෙන සුලු හ.
(එබැවින්) නො පමාවෙන් (එළැඹවු සිහියෙන්)
රහත් බව පිණිස කලයුතු දෑ සපයවූ (සපුරවූ).

(තථාගතයන් වහන්සේගේ අවසාන බුද්ධ වචනය)

අනිච්‌චා වත සඞ්‌ඛාරා

අනිච්‌චා වත සඞ්‌ඛාරා
උප්‌පාද වය-ධම්‌මිනො
උප්‌පජ්‌ජිත්‌වා නිරුජ්‌ඣන්‌ති
තෙසං වූපසමො සුඛො

පසයෙන් හටගත් සියලු දෑ
ඒකාන්තයෙන්ම ඉපදෙන වැනසෙන සුලුය.
ඔවුහු ඉපිද නැසෙත්.
ඔවුන්ගේ සංසිඳීම සුව ගෙන දෙයි. 

විඥානය (Consciousness) යනු කුමක්ද?

 “විඤ්ඤාණං විඤ්ඤාණන්ති ආවුසෝ වුච්චති. කිත්තාවතා නු ඛෝ ආවුසෝ විඤ්ඤාණන්ති වුච්චතී”ති? “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ‘දැනගන්නවා, දැනගන්නවා’ කියන අර...